
Edu Sri Lanka 🇱🇰
February 12, 2025 at 04:30 PM
සිංහල සාහිත්‍යය රසාස්වාදය
Lesson 06
*සිංහල ජන කවිය 🤍🌻*
ප්‍රවේශය:-
ජනයා අතරේම නිර්මාණය වී ජනයා අතරේම ආරක්ෂා වෙමින් මුඛ පරම්පරානුගතව පැවතෙන කාව්‍ය නිර්මාණයක් ලෙස ජන කවිය හැඳින්විය හැකිය. ජන කවිය පූර්ව නිශ්චිත වස්තු විෂයක් තේමා කොට ගත් නිර්මාණයක් නොවේ. ජන දිවි පෙවෙත හා බැඳි ඕනෑම කාරණයක් ජන කවියට වස්තු විෂය වේ.ජීවිතයේ විවිධ අවස්ථා, රැකියා, පුද්ගල මනෝභාව, විනෝදය හා ශෘංගාරය, කෙළි සෙල්ලම් ආදි නොයෙකුත් කරුණු ජන කවියට තේමා වී ඇත. ගැමි ජන ජීවිතය පිළිබඳ මනා පිළිබිඹුවක් ජනකවි තුළින් නිරූපණය වේ.
ආදර්ශ පද්‍ය:
( ගැමියන් විවිධ දුක් ගැහැටවලට මුහුණ දීම පිළිබිඹු කිරීම)
"ලස්සන හිමවතේ මා වී පැසෙන්නේ
දුක් දෙන අලි ඇතුන් පන්නා හරින්නේ
රැක්මෙන දෙවියනේ වෙලා බත් බුදින්නේ
දුප්පත්කම නිසයි මම පැල් රකින්නේ"
(ව්‍යංගාර්ථය දනවන බස හා අව්‍යාජත්වය)
" අල්ලාගෙන නෙරිය අතකින් කිම් ද නගෝ
වසා ගෙන දෙතන අතකින් කිම් ද නගෝ
හිමියෙක් නැති ගමන් තනි මග කිම් ද නගෝ
අම්බලමේ ඉඳලා අපි යම් ද නගෝ"
(සිවුපද ආකෘතිය හා හැඟීම් දැනවීම)
" බඩගිනි වෙලා මා ගිය කල පුතුගෙ ගෙට
මැනලා වී ටිකක් දුන්නයි මල්ලකට
ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට
මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට"
#admin_ yasuu✍️🍃