The News Plus
The News Plus
February 9, 2025 at 01:34 PM
දිවයින පුරා අද (09) ඇති වූ හදිසි විදුලිය බිඳ වැටීම මේ වනවිට සම්පූර්ණයෙන්ම යථා තත්ත්වයට පත්කර ඇති බව විදුලිබල මණ්ඩලය පවසනවා. ජාතික විදුලි පද්ධතියේ සිදුවූ අසමතුලිතතාවක් හේතුවෙන් මෙම විදුලිය බිඳ වැටීම සිදුවූ බවටයි තහවුරු වී තිබෙන්නේ. අද (09) පෙරවරු 11.15ට පමණ ජාතික විදුලිබල පද්ධතියේ හදිසි බිඳ වැටීමක් හේතුවෙන් සමස්ත දිවයිනටම විදුලි බල සැපයුම ඇණහිටියා. පානදුර ග්‍රීඩ් උපපොලේ ඇතිවූ හදිසි තත්ත්වයක් හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙම බලපෑම සිදුවූ බවටයි අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ප්‍රකාශ කළේ. මෙම බිඳ වැටීම යථා තත්ත්වයට පත් කිරීම සඳහා විදුලිබල මණ්ඩලයේ සියලු අංශ ඒකාබද්ධව පියවර ගනු ලැබුවා. ඒ අනුව අත්‍යවශ්‍ය සේවා සපයන මධ්‍යස්ථාන පිහිටි ප්‍රදේශ සඳහා කඩිනමින් විදුලි බල සැපයුම ලබාදීමට කටයුතු කෙරුණා. කොළඹ ජාතික රෝහලේ, අඹතලේ ජල පවිත්‍රාගාරය, බියගම, සපුගස්කන්ද ඇතුළු ප්‍රදේශ කිහිපයක විදුලිබල සැපයුම කඩිනමින් යථාතත්ත්වයට පත්කිරීමටයි ඒ අනුව කටයුතු කෙරුණේ. විදුලිබල සැපයුම යථාතත්ත්වයට පත් කරන තෙක් සූර්ය බල පද්ධති විසන්ධි කර තබන ලෙස ද විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කළා. විදුලිය බිඳවැටීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරන බවද විදුලිබල අමාත්‍යංශය සඳහන් කරනවා.

Comments