
The News Plus
February 11, 2025 at 04:52 AM
ලෝක රාජ්‍ය නායක සමුළුව අද (11) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායිහිදී ආරම්භ වීමට නියමිතව තිබේ.
සමුළුව අද සිට ලබන 13 වනදා දක්වා පැවැත්වීමට නියමිතය.
මෙම සමුළුවට සහභාගී වීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (10) පස්වරුවේ ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත ළඟා වී තිබුණි.
එහිදී ජනාධිපතිවරයා ඇතුළු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ විදේශ වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ආචාර්ය තානි බින් අහමඩ් අල් සෙයුඩි මහතා ඇතුළු රජයේ නියෝජිතයින් විසින් මහත් හරසරින් යුතුව පිළිගෙන ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම පිළිගැනීමේ අවස්ථාවට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ වැඩබලන තානාපති තක්ෂිලා අනෝල්ඩා, ඩුබායි සහ උතුරු එමිරයන් සදහා වන ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර ඇතුළු ඩුබායි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් ද සහභාගී වී තිබේ.
ඩුබායි වෙත ළඟා වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මාස්ටර් ඉන්වෙස්ට්මන්ට් සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස්අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසීම් හමුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
එම හමුවේ දී ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර ආර්ථික සහ අයෝජන සහයෝගීතාව ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමුව තිබේ.
අනතුරුව ජනාධිපතිවරයා ඩුබායි හි පිහිටා ඇති ප්‍රසිද්ධ අනාගත කෞතුකාගාරයේ පැවති රාත්‍රී භෝජන සංග්‍රහයට ද සහභාගී වී ඇති බව සඳහන්ය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට (12) පස්වරුවේ ලෝක රාජ්‍ය නායක සමුළුව ඇමතීමට ද නියමිතව තිබේ.