DREAMBOOKS🌼✨️
February 9, 2025 at 06:11 PM
වැස්සකට හැකියි නම් නුවර වැව සනසන්න..
රිදෙන නුඹෙ මතකයන් හදවතින් දියවෙන්න..
වළාකුළු බැම්මටත් ආදරෙන් කොදුරන්න..
පුළුවන් ද මේ මටත් වැහි බින්දුවක් වෙන්න..
දළදාවේ තේවාව වැව පුරා නැගුණා..
කළුවළා අතරදිත් නුඹේ රුව පෙනුණා..
පිනි බින්දු මහපොළව දෙහදවත් බැදුණා..
අත් බැදන් අපි ගියපු වැව රවුම තෙමුණා..
මෙච්චරම වහින්නේ රිදුණාද නුඹේ හිත..
මුළු අහස ගුගුරාම ඇසුවාලු ඒ පැනය..
වැව රවුමෙ නුඹ තාම හඩනවා දුටු විගස..
මහ අකුණු මැද්දෙදිත් සිඹිනවා අපෙ මතක..
✍️මියුලැස් අත්තනායක
පෙරදාක අත් බැඳන් ඇවිදාපු ඒ පාරේ
අද මලුත් පරවෙලා ඇයි තාම දන්නෑනේ
වැව් සුළඟ බර වැඩියි අද වෙනස අමුතුයිනේ
නුඹ තාම හිතනවද පෙර මතක අද වාගේ
Damm✍️
වැව් සුළඟ සීරුවට පෙනහැල්ල දක්වා
නුඹෙ මතක රිදවමින් හද ගැඹුර දක්වා
පරවෙච්ච මල් නුඹත් පාගනා හන්දා
හංසියේ බංකුවක තනි වුනෙමි හැමදා
හුවමාරු කළ හසුන් දන්නෙ වැව පමණමයි
ඉගිපාපු හසරැලිත් දුටුවෙ නුඹ පමණමයි
හීනියට තොල් අගින් මුමුණව්වෙ නුඹෙ නමයි
වැව් බැම්මෙ අසළදිත් දැනෙන්නේ උණුහුමයි
✍️මියුලැස් අත්තනායක
පෙරදාක ඒ මතක යළි ආයේ එනවාද
නුඹ හෙළන උණු කඳුලේ උණුසුමක් තියෙනවද
තව තවත් පෙම් හසුන් ලියන්නට සිතෙනවද
මට තවත් කාලේ නෑ නුඹ ළඟම දැවටෙන්න
Damm✍️
මතක යළි නාවොතින් දැවටීලා සුළඟක
යොමා නෙත දිව්රන්න දළඳාව අභියසක
උණු කදුළෙ සිරවෙලා හිටියොතින් මම අගක
දැනගන්න මේ දෑත වරම් නෑ යළි නුඹට
✍️මියුලැස් අත්තනායක
මඟහැරෙන පෙමක් යළි කවක වත් නොලියන්න
පෙරදාක මා සිටිය වගක් ගැන නොසිතන්න
ඔබේ මතකේ අවුලුවා මා දවා අවුලන්න
යළි කිසිම දිනෙක නුඹේ උණුහුමක් නොම දෙන්න
Damm✍️
ඉදින්නට අවැසි නෑ බැමි ලිහෙන කවක වුව
සිතන්නට වරම් නෑ නුඹෙ සුවඳ මතක වුව
අවුලන්ට සිතැගි නෑ යළිදු නුඹෙ සිතක් වුව
මේ උණුහුමේ නෑ යළි ඉඩක් නුඹට වුව
✍️මියුලැස් අත්තනායක
ඔබ ඉන්නවා
මම ගියා
වැව තාම නිහඬයි !!
මේ නුවර ගුප්තයි !!!
Damm✍️
හිදින්නෙමි නෙතු අයා
නුඹ යනෙන ඉම බලා
වැව දෙසම කන යොමා
ගුප්ත රස බලමි මා
✍️මියුලැස් අත්තනායක
❤️
🥺
🤍
🥹
❤🩹
👍
🩵
🫂
79