
Mindfulness ( සිහිය)
February 27, 2025 at 06:46 AM
.... කෑම පිගානක් කතා කරයි..
ඔබේ අතැඟිලි මා මත තබන තුරුම
මම කෑම පිගානක් ලෙස පරිපූර්ණව් සිටිමි..
මම බත් හෝ පරිප්පු නොවෙමි...
අල හෝ වට්ටක්කා නොවෙමි..
ප්ලාස්ටික්, ඇලුමිනියම් ,හෝ පිඟන් මැටි වන
මගේ පිට පොත්තද නොවෙමි..
සියල්ල එකට ගත්කළ මම කෑම පිඟාන වෙමි
හරියට ම ඔබේ අත්, පා, ඔළුව , ඇස් ආදිය
වෙන් වෙන් කොට ගත් කල
ඒ ඔබ නොවන්නා සේම
සියල්ලෙහි එකතුව ඔබ වන සේම..
ඔබේ අතැඟිලි අතර තෙරපී
ඔබේ මුඛයෙන් ඇතුළු වී..
ඔබේ ආහාර මාර්ගය ඔස්සේ ගොස්
මගේ මූලය වූ මහ පොළොවටම
නැවත එක්වීමේ අති දුෂ්කර වූ ගමන ගැන
මම දනිමි..
ඒ හරියට දවසක මහ පොළොව ට
පස් වෙන බව, නැතහොත්
දුන් ගුලියක් වී අහස බලා යන්න වෙන බව
ඔබ දන්නා සේමය..
සුදෝ සුදු පාටින්, රතූ පාටින් කහ පාටින්
කොළ පාටින් ආදී නෙක පැහැයෙන් බබලමින්
සුවඳ දිදී මම සිටිමි..
ඔබේ අත් වල පහස ලබන තුරු
මම පූර්ණ සුන්දරත්වකින් සැරසී සිටිමි..
හරියටම ඔබ වෛයි වර්ණ වස්ත්‍රාභරණයෙන්
සැරසී නිය තොල් පාට කර, හිස් පීරා
සුවඳ විලවුන් ආලේප කර සිටින්නාක් මෙනි..
නමුත් වෙනස නම්
ඔබ ඔබේ මමත්වය වෙනුවෙන් සටන් කරයි..
මම ලෙස බැබලෙන්නට ඔබට ඕනෑ වෙයි
සුවඳ සහ සුන්දරත්වයට මගේ ලෙස අයිතිවාසිකම් කියයි...
වෙනස බාර නොගනී..
නමුත් මම අයිතිවාසිකම් නොකියමි..
ඔබේ සිරුර ගොඩනගන
කාබෝහයිඩ්රේට් , ප්‍රෝටීන් , ලිපිඩ , විටමින්
මගේ යැයි සිතන්නට තරම්
මම මෝඩ නොවෙමි.
නමුත් එවන් වූ සිරුර ඔබේ යැයි සිතන්නට
තරම් ඔබ මුලාවෙන් මත් වී ඇති බව පෙනේ..
ඔබේ අතැඟිලි අතර මිරිකෙද්දී
ඒ මම ලෙස මම නොගන්නෙමි..
ඔබේ මුඛයේදී ඛේටය සමග මිශ්‍ර වී
මගේ බිඳ වැටීම ආරන්ම්භ වෙන මොහොතේ පවා ඒ මම ලෙස මම නොගන්නෙමි..
ආමාශයේදී සංඝටක ලෙස කෑලි කෑලි වලට
බෙදී වෙන්වී යද්දී
එතැන මම නොවන මම දනිමි..
දුගඳ ලෙස පහත්කොට නින්දා ලබා
රොඩ්ඩක් ලෙස ඔබේ ශරීරයෙන් වෙන් වී යද්දීත් එතැන මම නැත..
නැවතත් මම කෑම පිගානක් වී
සුවඳ දිදී දුම් දමමින්
ඔබේ මේසය මතටම එනු ඇත..
නමුත් ඒ මම නොවෙමි
මම නොවන්නේද නොවෙමි...
ඒ බව කැම පිගානක් ලෙස මම දනිමි
නමුත් ඔබ දන්නේ නැත..
මේ ක්‍රියාවලියේ සෑම තැනකම
ඔබ සිටින බව ඔබ සිතයි..
පරමාණු අණු සංයෝග අතර ඔබ සිටින බව
ඔබ සිතයි . දුකට වේදනාවට පත්වෙන,
රිදෙන ඔබ සිටින බව ඔබ සිතයි..
කැඩෙන , බිඳෙන, වෙන්වෙන, මැරෙණ
ඔබ සිටින බව ඔබ සිතයි.
ඒ ඔබේ මුලාවේ තරමයි...
✍️ඉන්දිකා වේවැල්පනාව
❤️
🙏
👍
23