
රාදි 🤎🍂
February 25, 2025 at 04:25 AM
"ඔව් ඉතින්. නැතුව අල්ලපු ගෙදර එකාගෙයැ. අහ්.. එහෙ ඉන්නෙත් මමමනෙ හැබැයි නේද.."
තිවෙන්‍ය අයියා එහෙම කිව්වම අපි දෙන්නම හයියෙන් හිනා උනා..
"අහන්නකො අනේ.."
"ඔව් කියන්නකෝ.."
"අර කිව්වා වගේ ලොකු බැල්කනියක් හදනවා නේද.."
"ඔව් හදමු.."
"එතකොට හෝම් ලයිබ්‍රි එක.."
"හදමූ.."
"අර අඹ ග.."
"හදමු හදමු බන්. ඔය සේරම හදමු.. දැන් පොඩ්ඩක් කට වහන් හිටහන්කෝ.. "
තිවෙන්‍ය අයියා කට බෙරි කරගෙන එහෙම කියද්දි මට ආයෙමත් මහ හයියෙන් හිනා ගියා..
..........................................................♡
"මොන මගුලක්ද බන් මේ වෙන්නේ. එකපාර ගහෙන් ගෙඩි එන්නා වගේනෙ.."
"ආත්තම්මා තමයි ප්‍රපෝසල් එක ගෙනත් තියෙන්නේ.. දන්නවනෙ ඉතින් එයාගෙ හැටි.. මට සැනසීමකට තියෙන්නෙ ඒ කොල්ලගෙ ඇත්තටම වැරැද්දක් නෑ.."
දෙකෙන් එකක් බේරගන්න කියලා සංසිගෙ ගෙදර ගියපු අපිට අන්තිමට හම්බවුන උත්තරේ තමයි ඔය..
"මොන මගුලක්ද ඕයි මේකි මේ කියන්නෙ. දෙන්න හිතයි මට කන පැලෙන්න. හරි.. මුකුත් ඕනෙ නෑ.. උබ දැන් මට කියපන් අපි චූටි අයියට මොකද්ද කියන්න ඕනෙ කියලා.. ඇත්තටම උබේ හිතේ තියෙන්නෙ මොනවද කියපන් සංසි.."
අර්චි කතා කරන්න ගත්තම මම සද්ද නැතුව අහගෙන හිටියේ කොහොමත් මට වඩා මේ වගේ ප්‍රශ්න විසඳන්න එයාට පුලුවන් නිසා..
"චූටි අයියට මොනා කියන්නද අර්චි.. මගෙ හිතේ මොනවා තියෙන්නද. මුකුත් නෑ.."
සංසි එහෙම කියද්දි ඔන්න ආයෙමත් අර්චිගෙ යකා ආවේෂ උනා..
" හිතේ මුකුත් නෑ කියලා ඔය කටෙන් කිව්වට ඔය ඇස් කියන්නෙනම් වෙන කතාවක් සංසි. උබ චූටි අයියට කැමැත්තෙන් හිටියෙ. දැන් මොකද මේ.."
"අර්චි.. කෑගහන්න එපා දෙයියනේ.. ඊලඟට තව ප්‍රශ්නයක්.."
අර්චි හයියෙන්ම කෑගහද්දි මම ඒකිගෙ අතකින් අල්ලලා එහෙම කිව්වෙ ඇත්තටම මේ වෙලාවෙ මේවා කාටහරි ඇහුනොත් ප්‍රශ්නයක් වෙන නිසා..
"කෑගහන්න තමයි වෙන්නෙ මීදු. මුන් දෙන්නටම පිස්සු.."
"මේ අහපන් අර්චි. දැන් ඔය මොනවා කිව්වත් චූටි අයියා ගැන මගේ හිතේ මොනවා තිබ්බත් ගෙදරින් කියන දේ ඇරෙන්න වෙන දේකට මට කැමති වෙන්න බෑ කියලා උබලා දන්නවා.. මොන දේට මට නිදහස තිබුනත් මේ දේදි ඒ නිදහස නෑ කියලා ඔයාලා දෙන්නම දන්නවනේ.. ඒක නිසා තිවේන් අයියට කියන්න තවත් මං ගැන හිත හිත දුක් වෙන්න එපා කියලා. අනික් එක ඔයාලත් ආයෙ මේක ගැන කතා කරන්න එපා.. කිසිම තේරුමක් නැති මේ දේවල් ගැන ආයෙ කතා කරන්න ඕනෙ නෑ. මං මේ වැඳලා ඉල්ලන්නෙ.."
සංසි අසරණ කටහඬකින් එහෙම කියද්දි අපි දෙන්නම මූණට මූණ බලාගත්තා..
"සං..සි.. අපි අංකල් එක්ක කතා කරන්නම්.."
මං ඒක කිව්වෙ ඇත්තටම බිඳුන කටහඬකින්..
ඒකට සංසිගෙන් හම්බුනේ හරි අමුතු විදියෙ හිනාවක්..
"වැඩක් වෙන්නෑ මීදු.. ඔයා හිතනවද වැඩක් වෙයි කියලා.. මේ ලෝකෙ ඉන්න හැම කෙල්ලම තමන්ගෙ තාත්තා වගේ හස්බන්ඩ් කෙනෙක් ප්‍රාර්තනා කරන්නෑ මීදු.. මාත් අන්න ඒ අතරින් එක කෙල්ලෙක්.. දන්නවද.. සමහර අය හොඳ තාත්තලා උනාට හොඳ හස්බන්ඩ් කෙනෙක් වෙන්නෙ නෑ.. සමහර අය ලඟ ඒ දෙකම නෑ.."
සංසිගෙ ඒ වචන ටිකෙන් පස්සෙ අපිට තවත් කතා කරන්න දෙයක් තිබුනෙ නෑ..
ඇත්තටම අපිට තවත් මුකුත් කියන්නත් බෑනෙ.
ඉතින් සද්ද නැතුවම අපි සංසිත් එක්ක එලියට එද්දි දෑසුයි ශෙනිරුයි සංසිගෙ තාත්තා එක්ක කතාවක..
ඔව්.. අපි දෙන්නා තනියම නෙවෙයි ආවෙ..
අපි එලියට එද්දිම වගේ කොහෙදෝ ඉඳන් එතනට ආවෙ සංසිගෙ අත්තම්මා..
මාන්නාක්කාර වලව් මැණිකෙ කෙනෙක්ටත් වඩා හරි අමුතු නපුරුකමක් එයාගෙ මූණෙ තියෙනවා කියලා මටනම් හිතුනේ..
"මං දැන් සෑහෙන වෙලාවක ඉඳන් බලාගෙන.. කාමරේට වෙලා කුටු කුටු ගානවා දෙන්නා තුන්දෙනා එක්ක.. ඔය ළමයි මෙහෙම ඇවිල්ලා අපේ එකීගෙ ඔලුව වෙනස් කරන්න හැදුවට එව්වා මේ කපේට සිද්ද වෙයි කියලනම් හිතන්න එපා ඕං.."
එක පාරටම ඒ අත්තම්මා එහෙම කතාවක් කිව්වම මායි අර්චියි විතරක් නෙවෙයි දෑසුයි නිසලුයි දෙන්නත් එයා දිහා බැලුවෙ පුදුමෙන් ඇස් ලොකු කරගෙන..
"අනේ එහෙම එකක් නෑ අත්තම්මේ.. එයාලා මගෙ හොඳම යාලුවෝ.. එයාලා ආවෙ මාව බලලා යන්න විතරයි.."
"හහ්.. බලලා යන්න විතරනම් කාරි නෑ.. අපේ පරම්පරාවල නෑ ඔය දෙමවුපියන්ගෙ කැමැත්තට උඩින් ගිහින් පවුලෙ නම්බුව විනාස කරලා මූණුවල දැලි ගාපු ළමයි.. ඔය ළමයින්ටනම් ඉතින් ඔව්වා තේරෙන එකක් නෑ.. දැන් ඔය ළමයි දෙන්නා එක වහලක් යටට වෙන්න ඉන්නවැයි කිව්වෙ කේන්දර කුල මල එහෙම ගලපගෙනද.."
ඒ පාර එයා එහෙම ඇහුවෙ අර්චියි දෑසුයි දෙන්නගෙන්..
මටනම් දැන් කතා කරගන්න වචන එන්නෙත් නෑ.. මං විතරක් නෙවෙයි අනික් අයත් එහෙම තමයි කියලා මූණු දැක්කම පේනවා..
මේ වගේ නපුරු මාන්නක්කාර ගෑණු කෙනෙක්ද අපේ සංසිගෙ මුලු ජීවිතේම තීරණය කරන්න හදන්නෙ..
"අනේ අත්තම්මේ.. මොනවද ඔයා මේ කියන්නේ.."
සංසි එහෙම අහනකොට එයා සංසි දිහාට තද රැවුමක් පා කරලා යැවුවා..
"යසයි යාලුවො කියන උන් එක්ක හැදිලා තියෙන විදිය. දැන් වැඩිහිටියො එක්ක කටගහගෙනත් එනවද සුදුමැණිකේ.. තත්වෙට නොගැලපෙන යාලුවො ආශ්‍රය කරාම ඔහොම තමයි.. මේ කෙල්ල නේද අර ටීවි එකේ යන ඇඩ් එකක කොල්ලෙක්ගෙ ඇඟේ එල්ලිලා දඟලන්නෙ. මං දැක්කා මේ ලඟකදි පත්තරේකත් ෆොටෝ වගයක් ගිහින් තිබුනා වියතක් නැති ඇඳුම් වගයක් ඇඳගෙන.. අපිනම් ඔහොම විලිසංගයක් නැති විදියට ඇඳුම් ඇන්දෙ නෑ.දෙමවුපියො කියන දේකින් එහාට ගියෙත් නෑ.. නැහැදිච්චකම් ඉහට ගැහුවම ඔහොම තමයි.."
දෙයියනේ.. මෙයා මොනවද මේ කියන්නේ. මගේ ආත්මගරුත්වෙට නේද මෙහෙම වචන කියන්නේ..
"ඔයා හිතනවා වගේ දෙයක් එතන වෙලා නෑ අත්තම්මෙ. ඒක නිකන් වීඩියෝ ඇඩ් එකක් විතරයි.. මං වැරදි දෙයක් කරලා නෑනෙ එතන. ඒක නිසා ප්ලීස් ඔය වගේ දේවල් කියන්න එපා.."
මං එහෙම කිව්වෙ ටිකක් තරහා ගියපු කටහඬකින්.. ඇයි යකෝ..
"ඔයා මොනවද අම්මෙ මේ කියන්නෙ. මේ දරුවා කොච්චර හොඳ දරුවෙක්ද කියලා මං හොඳටම දන්නවා.. ඔහොම දේවල් කියන්නෙ ඇයි අම්මේ.."
මං කතා කරලා ඉවර වෙද්දිම වගේ එහෙම කිව්වෙ සංසිගෙ තාත්තා..
"හහ්.. හැදිච්චකම පේනවා වැඩිහිටියොත් එක්ක කටගහගෙන එන විදියෙන්ම.. අපිනම් ඒ කාලෙ ඔලුව උස්සලා බලලා වැඩිහිටියෙක් එක්ක කතා කරන්නෙවත් නෑ.. ඕවයෙ නටලා ඉතින් කොහොමත් නම්බු පිට දීගෙක යන්නනම් හම්බවෙන එකක් නෑ... ඒක නිසා අපේ කෙල්ල අපිට හදාගන්න දීලා ආයෙ මේ පලාතෙ නෑවිත් හිටියොත් තමයි හොඳ.."
"අනේ ඇති ඇති අත්තම්මේ.. ඔයාට ඒ කාලෙ තිබ්බයි කියන හැදිච්චකම ගැන අපිට හිතාගන්න පුලුවන්. තවත්නම් මගේ නංගිට එක වචනයක් හරි කියාගෙන ආවොත් මට අමතක වෙයි ඔයා සංසිගෙ අත්තම්මා කියලා. මගේ නංගි එයාගෙ සීමාව දැනගෙනයි වැඩ කරන්නෙ. එක එකා එක්ක නැටුවා කිව්වනෙ. එක එකා නෙවෙයි ඒ මගේ නංගි බඳින්න ඉන්න කෙනා.. ඒ දෙන්නටවත් අපේ ගෙවල් වල අයටවත් ඒක ගැන කිසිම ප්‍රශ්නයක් නෑ.. එයා හැදෙන්න ඕනෙ හරි විදියට එයා හැදිලා ඉන්නෙ. අපෙ අම්මලට එයා ගැන කිසි බයක් නෑ.. ඒක නිසා අත්තම්මෙ ඔයත් මගේ නංගි ගැන කීයටවත් වදවෙන්න ඕනෙ නෑ.. සොරි බන් සංසි. උබ දන්නවනෙ මම කැමති නෑ මගෙ නංගි කාගෙන්වත් බොරුවට කතා අහනවට. අපි යන්නම් අංකල්. සුදූ.. එනවා යන්න.."
හොඳටම තරහා ගිහින් එහෙම කියලා කෑගහපු දෑස් මගේ අතකිනුත් ඇදගෙන එතනින් නැගිට්ටෙ එලියට යන්න..
"අහ්.. තව එකක්.. මමයි මගෙ කෙල්ලයි බඳින්න ඉන්නෙ අපිට ගලපගන්න ඕනෙ දේවල් සේරම ගැලපෙන නිසා. ඔයා ඒවා ගැන වදවෙන්න ඕනෙත් නෑ.. මට දුක මෙන්න මේකි ගැන.."
යන ගමන නවත්තලා සංසි දිහාට අත දික් කරපු දෑස් තවත් මොහොතක්වත් නොයිඳ මාවත් අරගෙන එලියට එද්දි අර්චියි ශෙනිරුයි දෙන්නත් අපි එක්කම එලියට ආවා..
..........................................................♡
සංසිගෙ ගෙදර ඉඳන් අපි කට්ටියම කෙලින්ම ආවෙ ෆ්ලවර් ශොප් එකට..
දෑස්නම් තාමත් තරහෙන්. මට ඒ මූණ දැක්කම තේරෙනවා තරහෙ තරම..
"දෑස්.. දැන් ඇති අනේ ඔය තරහා ගත්තා.. ඔයා ඔහොම ඉද්දි මං කොහොමද අප්පා ඔයාව දාලා යන්නෙ.."
මං කිව්වෙ මගේ ඉස්සරහා ඉඳගෙන තරහට රතු වෙලා ඉන්න දෑස්ට..
"කට වහගෙන ඉන්නවා සුදූ.. මට ඔය උද්දච්ච වලවුකාරිට කියපු හරිය මදි."
"අයියෝ දෑස්. දැන් ඇති අනේ. අනික ඔයාට එහෙම නොකියන්නයි තිබ්බෙ දෑස්. මොනවා උනත් ඒ සංසිගෙ අත්තම්මනේ.."
මං එහෙම කිව්වා විතරයි දෑස් අනික් අතට මගෙ ඇඟට කඩන් පැන්නා..
"අනේ සුදූ මේ.. මගෙන් අහගන්න හදන්නෙ ඔය... තමුසෙ මගේ නංගි.. මේ මගේ නංගි. එහෙම වෙලත් තමුසෙ මට කියන්නෙ කොහෙවත් යන ගෑණියෙක්ගෙන් තමුසෙ කුණු කතා අහනකල් බලන් ඉන්න කියලද.. "
"හරි හරි අනේ.. මගේ සූකිරි බටිල්ලට තරහා ගිහින්නෙ ඉතිම්. කෝ දැන් පොඩ්ඩක් හිනා වෙන්න අප්පා.. කියහන්කො අර්චි.."
මං දෑස් ලඟින් ඉඳගෙන එයාව බදාගන්න ගමන් එහෙම කිව්වෙ අර්චි දිහා බලලා..
"හිනා තමයි. මේ මනුස්සයා ඔහොම කියලා නැවතුන එක ගැන සතුටු වෙයන්. එහෙම නොවෙන්න උබලට මාව බලාගන්න එන්න වෙන්නෙ පොලිසියට තමා.."
ඒ පාර මේ හොල්මන. අනේ අම්මපා මේ ජෝඩුවනම් තකට තක..
"හරි හරි ඉතිම්. දැන් ඔය ඇති අනේ.. මේ අහන්නකො දෑස්.. ඔයා හොඳායිනෙ.. දැන් මේක ඇති ඈ.. ආයෙ අර යස්ස පැටවු ටිකටත් කියන්න යන්න ඕනෙ නෑ හරිද.."
මං එහෙම කිව්වෙ ඇත්තටම..
මෙයා විතරක් මෙහෙමනම් මුලු හමුදාවම දැනගත්තම කොහොම වෙයිද..
"කාටද කියන්න එපා කියන්නෙ.."
"වෙන කාටද අනේ.. අපේ අර අයියා බබාලා ටිකටයි ඔයාගෙ වන් ඇන්ඩ් ඔන්ලි මස්සිනා පොඩ්ඩටයි.."
"මොනවද මට කියන්න එපා කියන්නේ.."
අනේ ඇත්තමයි. මේ දෙයියොනම් මගේ පැත්තෙ ඉන්නෑ වැරදිලාවත්..
මම දෑස්ට බටර් පාර ගාලා ඉවර වෙද්දිම එහෙම අහගෙන ඇතුලට ආවෙ තිවෙන්‍ය අයියා..
"අහ්.. අද සෙට් එකම මෙහෙනෙ. මොනාද දැන් මට කියන්න එපා කිව්වෙ.. ඇයි මෙයා මට බූට් පාරක්වත් තියන්නද හදන්නෙ.."
තිවෙන්‍ය අයියා එහෙම අහන්නෙ හිනා වෙවී..
"මොනවද අයියෙ ඔයා කියවන්නේ.."
එහෙම අහගෙන මම ගිහින් තිවෙන්‍ය අයියගෙ අතේ එල්ලුනා..
"එහෙම එකක් නෙවෙයි අයියේ..අපේ සංසිගෙ අර මාන්නක්කාර අත්තම්මා..."
එහෙම කියලා පටන් ගත්තු පාර මුලු සිද්දියම මාරුවෙන් මාරුවට තිවෙන්‍ය අයියගෙ කනේ තිබ්බෙ වෙන කවුරුත් නෙවෙයි අපේ මෝඩ අර්චියි ශෙනිරුයි.
"මොන මගුලක්ද ඒ. අහක ඉන්න කෙල්ලො හදන්න එන්න එයාට මොන අමාරුවක්ද.. හොඳ දෙකක් කියලා එන්න තිබ්බෙ.."
තිවෙන්‍ය අයියගෙ කටින් පිට උනේ එච්චරක් උනාට මෙයා අත් දෙක මිට මොලවගෙන ඔරවගෙන ඉන්න විදියට මට තේරෙනවනෙ මෙයාගෙ තරහා..
දැන් එකෙක් මදිවට දෙන්නෙක් නිවපන්කො මං..
"අයියෝ අයියේ.. එයාට කියන්න ඕනෙ ටික දෑස් කියලා ආවේ.. දැන් ඉතින් ඔයා තරහා ගන්න එපා හරිද.."
මං එහෙම කිව්වෙ තිවෙන්‍ය අයියගෙ අතක් බදාගෙන ඒ අත උඩින් මූණ තියාගන්න ගමන්..
ඒකට මුකුත්ම නොකියා මගේ නලලට හාද්දක් තියපු තිවෙන්‍ය අයියා මගෙ ඔලුව අතගෑවා..
"මොන මගුලක්ද යකෝ. උබලා දෙන්නා මෙතන එකට තියලා තියන්නම බෑනෙ. බැලුවොත් දෙන්නා එකට ඇලිලා.. මුන් දෙන්නා මදිවටද අද තොපි දෙන්නත් පටන් ගත්තෙ."
බොහොම නිවීසැනසිල්ලෙ ඉඳගෙන උන්නු ඒ වෙලාවෙ එක පාරටම බෙරිහන් තියාගෙන එහෙම අහගෙන ආවෙ චූටි අයියා..
"අනේ ඇත්තමයි බන් අයියේ.. මට මේ ඕක කියාගන්න විදියක් නැතුව හිටියෙ. අපේ තනිකඩ හිත්නෙ පෑරෙන්නේ.."
ඒ පාර ශෙනිරු එහෙම කියනවා..
"කෝ බලන්න උබෙ කොතනද තනිකඩ. එකට දෙක තුනක් ඉන්න එකටත් තනිකඩයි කියනවා කියලා මම දන්නෙ අදනේ.."
දෑස් හයියෙන් හිනා වෙලා එහෙම කියද්දිනම් ශෙනිරුගෙ මූණ ඇද වෙලා ගියා..
ඒ මූණ ඇද වෙච්ච විදියට අපි කට්ටියටත් හිනා..
..........................................................♡
"අපි හැමෝටම තියෙන්නෙ එකකට එකක් වෙනස් විදියෙ හීනනේ.. ඔය එක එක ජාතියේ හීන අතරේ බහුතරයක් ගෑණුළමයින්ට ජීවිතේ එක පාරක් හරි තදටම දැනුන හීනයක් තියෙනවා.. මොකද්ද දන්නවද.. අනේ මටත් අයියා කෙනෙක් හිටියනම් කියන හීනය.. අයියා කෙනෙක්ගෙන් ලැබෙන ආරක්ෂාව ආදරේ පරිස්සම.. ඒ දේවල් විඳින්න හැම ගෑණුළමයෙක්ම ජීවිතේ එක වතාවක් හරි හීන දකිනවා.. ඉතින් මං කියන්නෙ මෙච්චරයි.. හැම ගෑණුළමයෙක්ටම කොයිම හරි ආත්මෙක කවදමහරි දවසක ඒ හීනෙ ඇත්තටම විඳින්න ලැබෙන්නම ඕනෙ.. සත්තකින්ම.."
..........................................................♡
"අදනම් කෙල්ල සහෝදර ප්‍රේමයෙන් වෙලිලා නේහ්.."
ප්‍රෝග්‍රෑම් එක ඉවර කරලා ගෙදර යන්න එලියට බහිද්දි දුවගෙන ඇවිත් මගේ අතකිනුත් එල්ලිලා එහෙම කිව්වෙ කේශි අක්කා..
"එහෙම එකක් නෑ අප්පා.. ඉතින් ඒකත් එක ජාතියක හීනයක්නේ.."
"හ්ම්ම්ම් හ්ම්ම්ම් හ්ම්ම්ම්ම්.. එහෙම කියමු.. ඒක නෙවෙයි බට්ටිච්චි.. මට ඔයාට කියන්න දෙයක් තියෙනවා.."
ඒ පාර හෙන සීරියස් මූඩ් එකකින් කියනවා..
"ඒ මොනාද අප්පා ඒ.."
"දැම්ම බෑ.. තව ටික දවසකින් කියන්නම් මං.."
"අපෝ.. මොකද්ද හලෝ. අවුස්සන්නෙ. කියනවකො දැන්.."
"පස්සෙ කියන්නම් අප්පා.. මට තව ටිකක් කල්පනා කරලා බලන්නත් ඕනෙ හුම්ම්ම්.."
"පිස්සු විකාරේ.. එහෙනම් කල්පනා කරලා කියනවකො.. අහ්.අන්න ඇවිත්. මං යන්නම් අක්කේ.."
මං එහෙම කියලා කේශි අක්කටත් බායි කියාගෙන දුවගෙන ගියේ තිවෙන්‍ය අයියා ලඟට..
ගියපු ගමන් මං එක පාර එයාව බදාගත්තා..
"කෝ බලන්න. මේ මොකද මැණික.."
"මුකුත් නෑ අනේ.. නිකන්.. ගොඩක් වෙලාවකින්නෙ දැක්කේ ඔයාව.."
"මැටි කෙල්ල. යං යං. පරක්කු වෙනවා.."
එහෙම කියලා තිවෙන්‍ය අයියා මාව පැසෙන්ජර් ශීට් එකෙන් ඉන්දවලා ඩ්‍රයිව් කරන්න ගත්තා..
"අයියේ.."
"ම්ම්ම්ම්.."
"ඔයා චූටි අයියත් එක්ක කතා කරාද.."
දවල් සංසිගෙ ගෙදරදි උන හැමදේම මම කියපු නිසා මං ඒ ප්‍රශ්නෙ දැන් අහනවා කියලා එයා දැනගෙනම ඉන්න ඇති..
ඒත් ඒ ඇස් වල තිබුනෙ බලාපොරොත්තු බිඳුන ගතියක්..
"මං දන්නෑ සුදු බබා.. මට තේරෙන්නෑ.. ඌ කියන්නෙම උගෙ හිතේ මුකුත් නෑ කියලා.. ඒත් මං ඌව දන්නෙ ඉපදුන දවසෙ ඉඳන්. ඒ ඇස් කියන්නෙ ඒ කතාව නෙවෙයි කියලා මට හොඳටම තේරෙනවා.."
තිවෙන්‍ය අයියා එහෙම කියද්දි මගෙ ඇස් වලට කඳුලු පිරිලා..
මගෙ අයියා පව් දෙයියනේ..
සංසිත් පව්..
මොනවද මේ වෙන්නේ..
"අනේ අයියේ.. එහෙම වෙන්න බෑනේ.. ඇයි එයාලා දෙන්..නම අපිට මුකුත් කියන්..නෙ නැත්තෙ. අපි එයාලට හො..ඳක්නෙ කරන්න හද..න්නේ. ඇ..යි එයාලා අපිට.. බොරු කියන්..නේ.."
එහෙම අහද්දිනම් මට ඇත්තටම ඉකිගැහිලා ඇඬෙන්න ගත්තා..
ඊයෙ දවල් ඉඳන් මගේ හිතේ එකතු වෙලා තිබ්බ ප්‍රෙශර් එක නිසා මම හයියෙන්ම අඬන්න ගත්තා..
"ෂ්..ෂ්.. කෝ බලන්න මගෙ මැණික.. මෙහෙට එන්න.. අඬන්න එපා.. එන්නකෝ.."
එහෙම කියන ගමන් කාර් එක පැත්තකින් නවත්තපු තිවෙන්‍ය අයියා මාව ඇදලා අරන් බදාගත්තා..
"අහ්..නේ.. අයි..යෙ.. මොනා..හරි කර..න්නකෝ.. එ..යාලට.. එහෙම වෙන්..න දෙන්..න එපා...හ්හ්.."
"මං කියලත් මොනවා කරන්නද රත්තරන්.. ඒ දෙන්නම කියන්නෙ එකම කතාවනෙ.. අපිට ගිහින් කතා කරන්න තිබුනා ඒ දෙන්නා අතරෙ රිලේෂන්ශිප් එකක් තිබුනනම්. ඒත් ඒක එහෙම නෑනෙ.. මම කියන එක තේරෙනවා නේද රත්තරන්.."
තිවෙන්‍ය අයියගෙ කටහඬත් ඇත්තටම බිඳිලා ගිහින්...
"අහ්..නේ අයි..යේ.."
"ඔහොම අඬන්න එපා සුදු බබා.. ඔයා මෙහෙම අඬද්දි මම තවත් අසරණ වෙනවනේ.. අඬන්න ඕනෙමනම් දැන් අඬලා ඉවර කරගන්න හොඳ කෙල්ල වගේ.."
ඒ ටික විතරක් කියලා තිවෙන්‍ය අයියා මාව තවත් තදට බදාගත්තා..
මම අඬලා ඉවර වෙනකල්ම එයා එක තප්පරේකටවත් මාව අතෑරියේ නෑ..
කොහොමහරි එයා ආයෙ කාර් එක ස්ටාට් කරේ මම අඬන එක සම්පූර්ණෙන් නවත්තලා තවත් විනාඩි ගානකට පස්සේ..
..........................................................♡
දෙවනිගෙ එන්ගේජ්මන්ට් එක නිසා වෙහෙසට විඩාවට පත් වෙලා හිටපු අපේ පවුලෙ උදවියට යන්තම් නිදහසක් ලැබුනෙ ඒ වැඩ සේරම ඉවර උනාම..
රශී අක්කා වගේම දෙවනිත් වෙඩින් එකක් ගන්න අකමැති උනාට එන්ගේජ්මන්ට් එක උනත් හිතපු තරම්ම සරලව ලේසියෙන් ඉවර කරන්න හම්බවුනේ නෑ..
ඒ දෙන්නම මේ දවස් වල ගොඩක් ජනප්‍රිය හින්දම මීඩියා වලින් ඒකට ලොකු පබ්ලිසිටි එකක් දුන්නා..
එක අතකට බලද්දි ලොකු අයියගෙයි දෙවනිගෙයි වෙඩින් දෙකටම වඩා අපිට මහන්සි වෙන්න උනේ පොඩීගෙ එන්ගේජ්මන්ට් එකට..
"ඒ වැඩෙත් හොඳ විදියට ඉවර උනා.. ඒක හින්දා මගෙ හිතට නිදහස්.."
කට්ටිටයම එකතු වෙලා තේ බිබී උන්න හවස් වරුවක අම්මා එකපාරට එහෙම කිව්වම තාත්තත් ඒක අනුමත කරන්න වගේ ඔලුව හෙලෙව්වා..
"කොහොමත් මට ඒ කොල්ලො තුන්දෙනා ගැන බයක් තිබ්බෙ නෑ.. මට බය තියෙන්න්ව් මෙන්න මේ ජෝඩුව ගැනයි ඊට එහා ගියපු මේ පොඩි අඟ ගැනයි.."
එක පාරටම පැත්තක හිටපු මාවයි දෑස්වයි චූටි අයියවයි අල්ලගෙන අම්මා එහෙම කියද්දි අනික් කට්ටිය සේරම හිනා වෙනවා..
අනේ ඇත්තමයි වෙන එකක් තියා මගේ මනුස්සයත් හෝ ගාලා හිනා වෙනවා..
මං පස්සෙ අල්ලගන්නම්කො න්‍යාය යටතේ හොඳ රැවුමක් විතරක් පා කරලා නිකන් හිටියෙ ඕකට හොඳ වෙලාවක් අහු වෙයිනෙ හිතලා..
"මොනවද අම්මේ ඔයා මේ අහිංසක අපිට කියන කතා.. අපි මේ මල් වගේ ළමයි.."
ඇති යන්තම් අපි වෙනුවෙන් ඉදිරිපත් වෙලා එහෙම කිව්වෙ චූටි අයියා..
" ඒ මල් වල හැටි මම දන්නවනේ හොඳට.."
ඒ පාර අම්මා එහෙම කියනවා..
"එහෙම කියන්න එපා මේනකා.. මේ තාම පොඩි උන්නේ.."
අන්න දැක්කනෙ.. සුදුඅම්මා විතරයි හොඳ..
ඒකනෙ මං එයාට ආදරේ..
ඒත් ඉතින් ඒ ආදරෙන් වෙලිලා එච්චර වෙලාවක් මට ඉන්න බැරි උනේ ඊලඟට අපේ අම්මා කියපු කතාවට..
"මොකක්...."
..........................................................♡
එකපාර පොඩ්ඩක් ප්‍රශ්නයක් වෙලා ඩාම් ඩූම් උනා ළමයි.. ඒකයි මේ පරක්කුව..
එතකොට තිවේන් සහ සංසාරි ගැනනම්.. මේ ලෝකෙ තියෙන හැම කතාවම එකතු වෙන කතාම නෙවෙයි. නෑණා වයිෆ් කියවපු අයනම් හොඳටම දන්නවා ඒක. 🫠 ඉතින් හැබෑ ලෝකෙ ජීවත් වෙමු. මෙහෙම දේවලුත් වෙනවා.
ඊලඟ එපියෙන් හම්බෙමු..
✍️ රාදි
❤️
💕
3