Mahamevnawa
Mahamevnawa
May 21, 2025 at 06:32 AM
🌷 ඔබේ ශ්‍රද්ධාව රැකගත යුත්තේ ඔබ ම යි. ඔබේ ශ්‍රද්ධාව වෙන කෙනෙකුට රැකිය නොහැකියි. 🙏 (ඛුද්දක නිකායේ සුප්පාවාසා සූත්‍රයෙන් උපුටාගත් පහත සිදුවීම කියවන්න.) ඒ දිනවල එක්තරා උපාසක කෙනෙක් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට හෙට දවසේ දානය පිණිස ආරාධනා කරලයි තිබුනේ. ඒ උපාසකතුමා ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේගේ උපස්ථායකයෙක්. ඉතින් භාග්‍යවතුන් වහන්සේ ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේව ඇමතුවා. “පින්වත් මොග්ගල්ලාන, ඔබ මෙහි එන්න. ඒ උපාසකතුමා ළඟට යන්න. ගිහින් ඒ උපාසකතුමාට මෙහෙම කියන්න. ‘ප්‍රිය ආයුෂ්මත, සුප්පාවාසා කෝලිය වංශික දියණිය හත් අවුරුද්දක් මුළුල්ලේ දරු ගැබක් දරාගෙන සිටියා. දරු ප්‍රසූතිය සිරවෙලා දවස් හතක් හිටියා. දැන් ඈ සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා. ඈ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට දවස් හතක් මුළුල්ලේ දන් පිදීමට ආරාධනා කරනවා. සුප්පාවාසා කෝලිය වංශික දියණියට ඒ දින හතක් මුළුල්ලේ දෙනු ලබන දානය දෙන්නට ලැබේවා!’ ඔහුගේ දානය පසුව දෙන්නට පුළුවන් බව කියන්න. අනික ඔහු ඔබගේ උපස්ථායකයෙක් නෙව.” “එසේය, ස්වාමීනී” කියලා ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට පිළිතුරු දුන්නා. ඒ උපාසකතුමා ළඟට වැඩියා. වැඩලා ඒ උපාසකතුමාට මෙහෙම කිව්වා. “ප්‍රිය ආයුෂ්මත, සුප්පාවාසා කෝලිය වංශික දියණිය හත් අවුරුද්දක් මුළුල්ලේ දරු ගැබක් දරාගෙන සිටියා. දරු ප්‍රසූතිය සිරවෙලා දවස් හතක් හිටියා. දැන් ඈ සුවපත් වුනා. නීරෝග වුනා. නීරෝග පුතෙකු වැදුවා. ඈ බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ භික්ෂුසංඝයාට දවස් හතක් මුළුල්ලේ දන් පිදීමට ආරාධනා කරනවා. සුප්පාවාසා කෝලිය වංශික දියණියට ඒ දින හතක් මුළුල්ලේ දෙනු ලබන දානය දෙන්න ලැබේවා! ඔබේ දානය පසුව දෙන්න පුළුවන්නෙ.” “එහෙම නම් ස්වාමීනී, ආර්ය වූ මොග්ගල්ලානයන් වහන්සේ මාගේ දානය පිණිස වූ වස්තුවත්, ජීවිතයත්, ශ්‍රද්ධාවත් කියන කරුණු තුන රැක දෙන්නට ඇප වෙනවා නම්, සුප්පාවාසා කෝලිය වංශික දියණිය සත් දිනක් පුරා දානය පූජා කරාවා! මම පස්සේ දානය පූජා කරන්නම්.” “ප්‍රිය ආයුෂ්මත, මම ඔබේ දානය පිණිස වූ වස්තුවත්, ජීවිතයත් කියන දෙක ගැන විතරක් ඇපවෙන්නම්. හැබැයි ශ්‍රද්ධාව ගැන නම් ඔබමයි ඔබට ඇප විය යුත්තේ.” “එහෙම නම් ස්වාමීනී, ආර්ය වූ මොග්ගල්ලානයන් වහන්සේ මාගේ දානය පිණිස වූ වස්තුවත්, ජීවිතයත් රැක දෙන්නට ඇප වෙන නිසා සුප්පාවාසා කෝලිය වංශික දියණිය සත් දිනක් පුරා දානය පූජා කරාවා! මම පස්සේ දානය පූජා කරන්නම්.” ඉතින් ආයුෂ්මත් මොග්ගල්ලානයන් වහන්සේ ඒ උපාසකතුමාව දැනුවත් කරලා භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණියා. පැමිණිලා භාග්‍යවතුන් වහන්සේට මෙහෙම පැවසුවා. “ස්වාමීනී, මං ඒ උපාසකතුමාව දැනුවත් කළා. සුප්පාවාසා කෝලිය දියණිය සත් දිනක් පුරා දානය පූජා කරවා! ඔහුගේ දානය පස්සේ පූජා කරාවි.”
Image from Mahamevnawa: 🌷 ඔබේ ශ්‍රද්ධාව රැකගත යුත්තේ ඔබ ම යි. ඔබේ ශ්‍රද්ධාව වෙන කෙනෙකුට රැකිය...
🙏 👍 ❤️ 😀 53

Comments