MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
MIHIN LIYANARACHCHI | ආර්ථික නොවන සදාතනික සෙනෙහස
June 3, 2025 at 03:14 AM
"ටක්කෙටම හරියන බිස්නස් එකක් කියන්න පුළුවන්ද ?" සමහරු හිතනවා ඇති මේ ප්‍රශ්නෙට කෙළින්ම උත්තරයක් දෙන්න පුළුවන් කියලා, හැබැයි ඇත්තටම එහෙම එකක් නෑ. මේ ලිපිය කියෙව්වට පස්සේ ඔබත් මාත් එක්ක එකඟ වෙයි. අපි පොඩි උපමාවකින් පටන් ගමු! ලෝකයේ ඉන්න වේගවත්ම සත්ත්වයා කවුද? ඔව්, ඒ තමයි චීටා. ගොඩබිම ගොදුරු අල්ලගන්න චීටාට වඩා දක්ෂයෙක් නෑ. එයාගේ වේගය, කඩිසරකම ගැන කිසිම සැකයක් නෑ.. ඒ වගේම මුහුදේ මාළු අල්ලන්න දක්ෂම සත්වයා කවුද? ඒ තමයි මෝරා. මෝරාගේ ශක්තිය, දඩයම් කිරීමේ හැකියාව මුහුදේ දී අති සාර්ථකයි. "හැබැයි අපි චීටාට මුහුදේ මාළු අල්ලන්න කිව්වොත් එයාට පුළුවන්ද? බෑ නේද?" "ඒ වගේම මෝරාට ගොඩබිම දුවලා ගොදුරු අල්ලන්න පුළුවන්ද? ඒකත් බෑ." දෙන්නම තමන්ගේ පරිසරය තුළ අති දක්ෂයි, සාර්ථකයි. හැබැයි පරිසරය මාරු වුණාම ඒ සාර්ථකත්වය නැති වෙනවා. ඇයි මේ උපමාව වැදගත් වෙන්නේ? මේ උපමාවෙන් මම කියන්න හැදුවේ ව්‍යාපාර ලෝකයත් මේ වගේමයි කියන එකයි. බොහෝ දෙනෙක් හිතනවා "හොඳම ව්‍යාපාරය" කියලා එකක් තියෙනවා කියලා. සමහරු අහනවා "අයියේ, දැනට යන හොඳම බිස්නස් එක මොකක්ද?" කියලා. ඒත් ඇත්තටම එහෙම "හොඳම ව්‍යාපාරයක්" නෑ. තියෙන්නේ ඔබට ගැලපෙන, ඔබ විසින් සාර්ථක කරවන ව්‍යාපාරයක් විතරයි. අමතක නොකර අදාළ පරිසරයක! සමහරු හිතනවා ව්‍යාපාර කිහිපයක් කරලා අසාර්ථක වුණාම තමයි මේ දේ තේරෙන්නේ කියලා. ඒත් එහෙම වෙන්න ඕන නෑ. මේ සරල කාරණාව තේරුම් ගන්න. ලෝකයේ කිසිම කෙනෙක් හැම ව්‍යාපාරයක්ම සාර්ථකව කරන්න හදලා නෑ.. අපි බලමු 'ෆ්‍රැන්චයිස්' ව්‍යාපාර දිහා. මේවා දැනටමත් සාර්ථකයි කියලා ඔප්පු කරපු ව්‍යාපාර ආකෘති. ඒත් වැරදි කෙනෙක් මේ ව්‍යාපාරයක් පටන් ගත්තොත් ඒකත් අසාර්ථක වෙන්න පුළුවන්. ඒ කියන්නේ ව්‍යාපාරය හොඳ වුණාට, ඒක කරන කෙනාට ඒකට ගැලපීමක් නැත්නම්, සාර්ථකත්වය හීනයක් වෙන්න පුළුවන්. 'පරිපූර්ණ ව්‍යාපාරය' කියලා එකක් නෑ! ඉතින් මිත්‍රවරුනි, දැන්වත් "ඉහළම සාර්ථකත්ව අනුපාතය" තියෙන 'පරිපූර්ණ ව්‍යාපාරයක්' හොයන එක නවත්වන්න. ඒ වෙනුවට, ඔබට ගැලපෙන, ඔබ ආස කරන ව්‍යාපාරයක් හොයන්න. "ඒ කියන්නේ මම කැමති ඕනම දෙයක් බිස්නස් එකක් විදියට පටන් ගත්තොත් සාර්ථක වෙයිද?" කියලා ඔබට හිතෙන්න පුළුවන්. "නෑ.. නෑ.. වැරදියට හිතන්න එපා! ඔබ කැමති ව්‍යාපාරයක් කියන්නේ ඔබ ඒකට දක්වන කැමැත්තට අමතරව, ඒ සඳහා අවශ්‍ය දැනුම, හැකියාවන් සහ කැපවීම ඔබ සතු විය යුතුයි." "Invictus" (2009) චිත්‍රපටයෙන් දෙන පාඩම ව්‍යාපාරයක් සාර්ථක කරන්නේ පුද්ගලයා මිස ව්‍යාපාරයම නොවන බවට කදිම උදාහරණයක් සපයන යුරෝපීය චිත්‍රපටයක් තමයි "Invictus". මේක ප්‍රධාන වශයෙන් දකුණු අප්‍රිකාවේ සිදුවීමක් වටා ගෙතුණු කතාවක් වුවත්, චිත්‍රපටයේ නිෂ්පාදනය, රංගනය සහ අධ්‍යක්ෂණය (ක්ලින්ට් ඊස්ට්වුඩ් වැනි යුරෝපීය මූලයන් සහිත කලාකරුවන්ගේ දායකත්වය) එය යුරෝපීය සිනමාවට සමීප කරනවා. "Invictus" චිත්‍රපටය දිවෙන්නේ නෙල්සන් මැන්ඩෙලා දකුණු අප්‍රිකාවේ ජනාධිපති ලෙස පත්වීමෙන් පසුවයි. රට වසර ගණනාවක් පැවති වර්ණභේදවාදයෙන් බෙදී වෙන්ව, ගැටුම්කාරී තත්ත්වයක පවතිනවා. මැන්ඩෙලාට අවශ්‍ය වෙන්නේ ජනතාව එකට එකතු කරන්න. ඔහු මේ සඳහා අසාමාන්‍ය උපාය මාර්ගයක් යොදා ගන්නවා.. 'ඒ තමයි රටේ රග්බි කණ්ඩායම භාවිතා කිරීම.' ඒකාලේ රග්බි කියන්නේ දකුණු අප්‍රිකාවේ සුදු ජාතිකයන්ට පමණක් සීමා වූ, කළු ජාතිකයන් වෛර කළ ක්‍රීඩාවක්. "ස්ප්‍රින්ග්බොක්ස්" Springboks ලෙස හැඳින්වෙන ජාතික රග්බි කණ්ඩායම අතිශයින් අසාර්ථකයි. ලෝක කුසලානයට තේරී පත් වුණත්, ඔවුන්ට කිසිම දිනුමක් බලාපොරොත්තු වෙන්න බැරි මට්ටමකයි හිටියේ.. මැන්ඩෙලා, රටේ බහුතරයක් වන කළු ජාතිකයන්ගේ විරෝධය නොතකා, රග්බි කණ්ඩායම රට එක්සත් කිරීමේ මෙවලමක් ලෙස දකිනවා. ඔහු කණ්ඩායමේ නායකයා වන ෆ්‍රැන්කොයිස් පිනාර් (Francois Pienaar) හමුවී, "අපිට උදව් කරන්න, අපිට රට එක්සත් කරන්න පුළුවන්" කියලා ඔහුට අභියෝග කරනවා. මැන්ඩෙලාගේ අරමුණ වුණේ මේ අසාර්ථක කණ්ඩායම සාර්ථකත්වයට ගෙන ඒමෙන්, ජනතාවට බලාපොරොත්තුවක් ලබා දී ඔවුන්ගේ ආකල්ප වෙනස් කිරීමයි. මැන්ඩෙලාගේ දැක්ම, නායකත්වය, සහ නොසැලෙන කැපවීම නිසා, පිනාර් සහ රග්බි කණ්ඩායම ඔවුන්ගේ සීමාවන් ඉක්මවා ක්‍රීඩා කරනවා. කිසිවෙකු බලාපොරොත්තු නොවුණත්, ඔවුන් 1995 රග්බි ලෝක කුසලානය දිනා ගන්නවා. මේ ජයග්‍රහණය හුදෙක් ක්‍රීඩා ජයග්‍රහණයක් පමණක් නොවී, වසර ගණනාවක් බෙදී සිටි රටක් එක්සත් කිරීමට සමත් වූ බලවත් සංකේතයක් බවට පත් වෙනවා.. මේ චිත්‍රපටය අපිට උගන්වන ප්‍රධාන පාඩම තමයි, මොනතරම් අසාර්ථක ව්‍යාපාරයක් හෝ අභියෝගාත්මක තත්ත්වයක් තිබුණත්, නිවැරදි පුද්ගලයා, නිවැරදි දැක්ම සහ කැපවීමත් සමඟ එය සාර්ථකත්වයට පත් කළ හැකි බව.. මැන්ඩෙලාට "හොඳම ව්‍යාපාරය" (රට එක්සත් කිරීමේ ව්‍යාපාරය) රග්බි ක්‍රීඩාව බවට පත් කිරීමට හැකි වුණේ, ඒ සඳහා ඔහු සතුව තිබූ අසමසම නායකත්ව හැකියාව, ධෛර්යය සහ මානුෂීය ගුණාංග නිසයි. රග්බි කණ්ඩායම අසාර්ථක වුණත්, ඔහු එය දියුණු කළා. ඒ වගේම, පිනාර්ගේ කැපවීම, කණ්ඩායමේ අධිෂ්ඨානය තමයි ඔවුන්ව ජයග්‍රහණය කරා ගෙන ගියේ.. එකෙන් අපිට තව තියරි එකක් පෙන්වනවා.. ඔයාට විෂන් එකක් උත්සාහයක් ආදී හැමදේම තිබුණත් ඔයා වැඩේ භාරදෙන කෙනාත් ඉතා වැදගත්.. මැන්ඩලා වගේම පිනාර්ගේ කැපවීම අතිවිශිෂ්ටයි. ඒ නිසා, ඔබේ ව්‍යාපාර අදහස මොනතරම් අභියෝගාත්මක වුණත්, ඒක සාර්ථක කරන්න පුළුවන් කියලා ඔබ විශ්වාස කරනවා නම්, ඒ වෙනුවෙන් කැපවෙන්න සූදානම් නම්, ඒක ඔබට හරියටම ගැලපෙන ව්‍යාපාරය ඒක වෙන්න පුළුවන්. "මට ගැලපෙන ව්‍යාපාරය හඳුනාගන්නේ කොහොමද?" ලෝකයේ හොඳම ව්‍යාපාර උපදේශකයන් ඒ ගැන කියන්නේ මෙහෙමයි. ඔබ මොනවටද දක්ෂ? මොනවටද කැමති? සමහරවිට ඔබ දක්ෂ ලියන්න වෙන්න පුළුවන්, නැත්නම් නිර්මාණ කරන්න, මිනිස්සු එක්ක කතා කරන්න, ප්‍රශ්න විසඳන්න, අලුත් දේවල් හොයන්න, නැත්නම් මොකක් හරි නිශ්චිත තාක්ෂණික දැනුමක් ඔබට තියෙන්න පුළුවන්. ඔබ කැමති දේවල් කරන කොට ඔබට වෙහෙසක් දැනෙන්නේ නැහැ. ඒ දේවල් කරන්න ඔබ කාලය කැප කරනවා... ඔබ අතීතයේ කරපු රැකියා, ඉගෙන ගත්තු දේවල්, ලබාගත් අත්දැකීම් ඔබේ ව්‍යාපාරයට ලොකු ශක්තියක් වෙන්න පුළුවන්. ඔබ කැමති ව්‍යාපාරයක් වුණත්, ඒ සඳහා වෙළඳපොළේ ඉල්ලුමක් තියෙන්න ඕනේ. ඒ නිසා ඔබ කැමති ක්ෂේත්‍රයක් තෝරාගත්තට පස්සේ, ඒ සඳහා තියෙන ඉල්ලුම ගැන හොඳින් අධ්‍යනය කරන්න. ඔබ තනිවම වැඩ කරන්න කැමති කෙනෙක්ද? කණ්ඩායමක් එක්ක වැඩ කරන්න කැමති කෙනෙක්ද? අවදානම් ගන්න කැමතිද? ඔබ ගන්නා තීරණ, ඔබගේ සන්නිවේදන රටාව, ඔබගේ නායකත්ව ගුණාංග ව්‍යාපාර සාර්ථකත්වයට සෘජුවම බලපානවා.. මොකද අවසානයේ ව්‍යාපාරය සාර්ථක කරන්නේ ඔබයි! එසේ නොමැතිව "මායාකාරී ලෙස" ඔබව සාර්ථක කරවන ව්‍යාපාර ලෝකයේ නෑ. ඔබ මොනතරම් හොඳ ව්‍යාපාර අදහසක් තිබුණත්, ඒකට අවශ්‍ය කැපවීම, උත්සාහය, දැනුම, සහ ඉගෙන ගැනීමේ හැකියාව ඔබ සතුව නැත්නම්, හරි ව්‍යාපාරික පරිසරයේ එය නැත්නම්,ඒ ව්‍යාපාරය අසාර්ථක වෙන්න පුළුවන්.. අපි ගොඩක් වෙලාවට සාර්ථක ව්‍යාපාරිකයන් දිහා බලලා හිතනවා "එයාලා වාසනාවන්තයි" කියලා. ඒත් අපි දකින්නේ එයාලගේ සාර්ථකත්වය විතරයි. ඒ සාර්ථකත්වය පිටිපස්සේ තියෙන කැපවීම, අසාර්ථකවීම්, උත්සාහය අපි දකින්නේ නෑ. ඒ හැම සාර්ථකත්වයක් පිටිපස්සෙම තියෙන්නේ තමන්ට ගැලපෙන ව්‍යාපාරයක් තෝරාගෙන, ඒ වෙනුවෙන් කැපවෙච්ච කෙනෙක්.. මේ හැමදෙයින්ම කියවෙන්නේ, ඔබ හොඳින් දන්නා, ඔබ දක්ෂ ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් පටන් ගත්තොත්, ඔබගේ හැකියාවන් උපරිමයෙන් භාවිතා කරලා ඒක සාර්ථක කරගන්න පුළුවන් කියන එක. හිතන්න පළතුරු ගහේ හැදෙනවා, පොළොවට වැටෙනවා. ඒත් ඒකෙන් සැබෑ වටිනාකමක් එන්නේ ඒක නිවැරදි තැනට, නිවැරදි විදියට ගියොත් විතරයි. ඔබත්, ඔබේ ව්‍යාපාරික අදහසත්, ව්‍යාපාරික පරිසරයත් ඒ වගේ.. . . . සාගර දියගම ©️ 2025 ──────── •✧✧• ─────── https://tinyurl.com/2mucdjrt #sagara_diyagama #diyagama #sagara_diyagama #සාගර_දියගම
❤️ 🙏 33

Comments