ඉගිලෙන පිටු
June 5, 2025 at 04:25 AM
පණ වාගේ රැක්ක උඹ මිස් වෙච්ච ඩිංගකට..
පීරලා සෙව්වා මං නොයෙක් තැන් හරියකට..
සීතලට ගුලි වෙන්න එනවමයි මැදියමට..
එහෙව් උඹ කොයි ඉන්නේ කියාපන් හීනෙකට..
ඉවසන්න බැරිම තැන උඹ නොමැතිකම ඇඳට..
මැදියමේ පීරනවා කැලෑ ගිනි නොතබාම..
වන දෙව්නි ඇසෙනවද මගෙ කෙලීගේ ඇඬුම..
දෙවේලක් නැතුව ඇති මගෙ කෙල්ලගේ බඩට..
හැඬුම් කඳුලැල් ගලා එන්නේ කුමටදැයි නො දනිමි..
උලමෝ හූ කියමින් අඬන්නේ කුමටදැයි නො හිතමි..
යට ඇඳුම් තැන තැන පෙනෙන්නේ කීරි ගැහි හිත වෙව්ලමි..
නිරුවතින් වැටි දුවගේ කය මං කැලේ මැද්දේ දුටුවෙමි..
වැටී පෙරලී දූගේ මළකඳ ඔසවලා කර තියාගෙන..
හූ තියා අඬ අඬා දිව්වා හිස හැරුණු අත බලාගෙන..
පණ දියන් දෙයියනේ මේකිට යැද්දා තැන තැන වැටීගෙන..
ශාප කඳුලැල් කැලේ හැම තැන යනවාය දැන් ගලාගෙන..
දිවි කෙලසු හැම එකා කොහෙන් හෝ සොයාගෙන..
විසඳපන් මේ නඩුව හැම දෙවියෝ භාරගෙන..
සිදු වෙච්ච විනාසේ තුන් හිතම පාරගෙන..
මළවුනුත් පණ ගහයි පොළෝ ගැබ පලාගෙන..
• ✍️ Kavinda
❤️
😢
👍
12